මහින්ද ස්ථවිරයන් වහන්සේ බුදුන් වැඳීම සඳහා සර්වඥ ධාතුන් නිධන් කළ චෛත්‍යයක
අවශ්‍යතාව දේවානම් පියතිස්ස රජුට පෙන්වා දුන්හ. ඒ අනුව රජුගේ ඉල්ලීම පරිදි
ඉන්දියාවට වැඩම කළ සුමන සාමණේරයෝ අශෝක අධිරජයා හමුව බුදුන් වහන්සේගේ දකුණු
අකු ධාතුව ද තවත් ධාතුන් වහන්සේලා ද ලබා ගෙන ලක්දිවට සැපත් වූහ. රජතුමා
අකු ධාතුන් වහන්සේ මංගල හස්තියා පිට මහ පෙරහරින් වැඩමවාගෙන යද්දී හස්තියා
එක තැනක නතර වී නොසෙල් වී සිටියේය. මහින්ද ස්ථවිරයන් වහන්සේගේ උපදෙස් මත
අභය වැවෙන් පස් ගෙන්වා එතැන ඇතාගේ උසට සෑයක් බැඳි රජතෙමේ ඇතු පිටින් ධාතුන්
වහන්සේ වැඩමවා එහි නිධන් කොට ලක්දිව ප්‍රථම ස්තූපය සෑදවීය. වර්තමාන
ථූපාරාමය එයයි. ස්ථූප හා ආරාම සංකීර්ණය එක්ව පිහිටා තිබීම නිසා ථූපාරාම
නාමය ව්‍යාවහාර වූ බවට ද මතයකි. දැනුදු නටබුන් සහිතව අක්කර 3 ½ ක පමණ
ප්‍රදේශයක් වසා පැතිර ඇති ථූපාරාම භූමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන්
පාරිශුද්ධ වූ ස්ථානයකි. බුදු දහම ලක්දිවට හඳුන්වා දීමෙන් පසු ඉදි වූ
ප්‍රථම ථූපය ථූපාරාමය වීම එහි ඇති විශේෂත්වයයි. ලජ්ජිතිස්ස රජු (ක්‍රි.
පූ. 119-109) ස්ථූපයට ශෛලමය කඤ්චුකයක් පුද කළ අතර වසභ රජු (ක්‍රි. ව.
66-110) වටදාගෙය සාදා දුන්නේය. ධාතුසේන රජු මෙන්ම දෙවන අග්‍රබෝධි රජු ද
ථූපයෙහි අලුත්වැඩියා කටයුතු සඳහා උර දී කටයුතු කළ රජවරුන් දෙදෙනෙකි.
පළමුවන දාඨෝපතිස්ස රජු හේවායින්ට මුදල් ගෙවීමට නොහැකිව සිටියේය. ඔහු ඒ සඳහා
කළේ ථූපාරාමයෙහි ධාතු ගර්භය බිඳීමය. එසේ වුව (ක්‍රි. ව. 650-659) අතර රජ
කළ දෙවන කාශ්‍යප රජු ස්ථූපය නැවත ප්‍රකෘතිමත් කළේය. මේ අයුරින් මානවම්ම,
දෙවන මිහිඳු, දෙවන දප්පුල, දෙවන සේන, දෙවන උදය, සිව්වන මහින්ද ආදී රජවරුන් ද
ථූපය පිළිසකර කරමින් ද, අලුත් අංග එක් කරමින් ද මහත් සේවාවන් කළ බව අමතක
නොකළ යුතුය. දෙවන දප්පුල රජුගේ කාලයේ දී මෙහි පැමිණි පාණ්ඩ්‍යයන් විසින්
ථූපාරාමය මංකොල්ල කන ලද අතර දහවන සියවස අවසානයේ දී මෙහි ආ සොළීහු සමස්ථ
විහාරයම කොල්ල කෑහ. එසේ වුවද භාග්‍යයකට මෙන් දොලොස්වන සියවසේ රජකම් කළ මහා
පරාක්‍රමබාහු නරපතියා එය නැවතත් යථා තත්වයට ගෙන ආවේය. මෙම දාගැබේ මුල්
ස්වරූපය ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වූ අතර ඉන් පසුව කරන ලද ප්‍රතිසංස්කරණ
හේතුවෙන් එය ඝණ්ටාර හැඩයට වෙනස් වූ බව සඳහන්ය. දැනට මෙහි උස අඩි 60කි.
විශ්කම්භය අඩි 59 කි. ථූපාරාමය අවට ඇති පෞරාණික වටිනාකමින් යුත් ස්ථාන
කිහිපයක් ඇත.
http://www.paramparikadenuma.lk/index.php?option=com_content&view=article&id=98&Itemid=70&lang=si
No comments:
Post a Comment