Sunday, March 22, 2015

ලෝවාමහාපාය

ලෝවාමහාපාය යනු ක්‍රි. පූ. 1 වන සියවසේදී මහා විහාරයේ ඉදි කරනු ලැබූ උපෝසථාගාරයකි. මෙය අනුරාධපුරයේ පිහිටා ඇත. එහි වහලය ලෝහ උළු වලින් කල නිසා ලෝහ ප්‍රාසදය යනුවෙන්ද හැඳින්විනි. ගල් කනු 1600ක් මෙම ස්ථානයේ ඇති අතර එහි මහල් නමයක් වූ බව වංශ කථා වල සඳහන් වේ. දැනට මැදින් ඇති කුඩා ගොඩනැගිල්ල නවීන එකක් වන නමුදු මහා විහාරයේ පෝය කර්ම සඳහා තවමත් මෙම ස්ථානය පාවිච්චි කරනු ලබයි.

දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද ලෝවාමහාපාය නවමහල් වූ බැව් මහාවංසයේ සඳහන් වෙයි. මේ යුගයේ සාදන ලද ඉතා විශාල ආගමික ගොඩනැගිල්ල වූ මෙම ලෝවාමහාපායේ (අද අනුරාධපුරයේ) ගල් කණු 1600 ක් ඔබට දැකගත හැකිය. ගල්කණු එක පෙළකට හතළිහ බැගින් ගල්කණු පේළි හතළිහකි. මෙම නටබුන් වූ ලෝවාමහාපාය අවසන් වරට සංරක්ෂණය කරන ලද්දේ පොළොන්නරුවේ රජ වූ ඉතා ප‍්‍රබල රජ කෙනෙකු වූ මහා පරාක‍්‍රමබාහු රජතුමා විසිනි.ලෝවා මහාපාය යන නාමයෙන් මේ විශාල ගොඩනැගිල්ල හැඳින්වූයේ එහි වහළය තඹ ලෝහ උළුවලින් සෙවිළි කර තිබුණු නිසාය. ලෝවාමහාපාය දුටුගැමුණු රජතුමා විසින් එතැන සාදවන්නට පෙර එහි තිබුණේ දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද පොහොය ගෙයකි. එයින් අවුරුදු සියයකට පමණ පසුව ලෝවාමහාපාය දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද ආකාරය ඓතිහාසික වාර්තා වලින් පැහැදිලි වේ. දුටුගැමුණු රාජ යුගය වනවිට අනුරාධපුරයේ භික්ෂු - භික්ෂූණීන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් වාසය කළහ. නවමහල් (තට්ටු නවයක්) මේ ගොඩනැගිල්ල භික්ෂූන් වහන්සේලාගේ පෝය ගෙයක් ලෙසින් ද භාවිතා කර ඇත. එමෙන්ම භාණ්ඩ තැම්පත් කිරීම සඳහා ද එම ගොඩනැගිල්ල භාවිතා කර ඇත. ලෝවාමහාපාය ගැන දීර්ඝ විස්තරයක් මහාවංසයේ සඳහන් කර ඇත.
මේ ගොඩනැගිල්ල දැවයෙන් (ලී වලින්) සාදා තිබුණි. දුටුගැමුණු රජතුමාට පසුව රජවූයේ එතුමාගේ බාල සොහොයුරා වූ තිස්ස කුමාරයාය. බුද්ධාගමට ඉතා ලැදිව රජකම් කළ නිසා සද්ධාතිස්ස යන නාමයෙන් එම රජතුමා ප‍්‍රකට වූයේය. ලෝවාමහාපාය එම රජතුමාගේ කාලය ේදී ගින්නෙන් දැවී විනාශ වූයේය. ඒ නිසා නව මහල් ලෙසින් දුටුගැමුණු රජතුමාගේ අනුග‍්‍රහයෙන් නිර්මාණය කරන ලද ලෝවාමහාපාය සද්ධාතිස්ස රජතුමාගේ අනුග‍්‍රහයෙන් ගොඩනගන ලද්දේ සත්මහල් ආකාරයටය. මේ බව වංශකතා වල සඳහන් වී ඇත. ලෝවාමහාපාය නැවත ප‍්‍රතිසංස්කරණය කරන ලද්දේ ඊට අවුරුදු සියයකට පසුවය. කි‍්‍රස්තු පූර්ව 22 දී රජවූ භානිකාභය රජතුමාගේ අනුග‍්‍රහයෙන් එම ප‍්‍රතිසංස්කරණය සිදුකර ඇත. ආමණ්ඩගාමිණී රජතුමා (කි‍්‍ර.ව. 19 – 29) ගේ රාජ්‍ය කාලයේදී ඒ රජුගේ අනුග‍්‍රහයෙන් ලොවාමහාපායට මැණික් ඔබ්බවා අලංකාර වූ මණ්ඩපයක් ද කරවූ බැව් වංසකතාවල සඳහන් වේ.කලින් කල මෙසේ ලෝවාමහාපාය විවිධ රජවරුන් විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලදී. දෙවැනි සිරිනාග රජතුමා (කි‍්‍ර.ව. 240 – 242) විසින් ලෝවාමහාපාය පස් මහල් ලෙසින් යළි සෑදූ බැව් ද වංසකතාවල සඳහන් වී ඇත. පළමුවන ජෙට්ඨ තිස්ස රජතුමා විසින් නැවතත් මේ ලොවාමහාපාය නවමහල් ලෙසින් ගොඩ නංවන ලදී. මෙසේ විවිධ කාලවලදී අපගේ සිංහල නරපතියන් ලෝවා මහාපාය මෙසේ ප‍්‍රතිසංස්කරණය කිරීමට හේතුව එය ඉතා අවශ්‍ය වූ ආගමික ගොඩනැගිල්ලක් ලෙසින් පැවතුණු නිසාය. ලෝවාමහාපාය ගොඩනැංවීමේදී කිතුල් හෝ තල් දැව (ලී) භාවිතා කරන්නට ඇත. එම තල් සහ කිතුල් ලීමත බදාම ගා මේ ලොවාමහාපාය කරවන ලද බැව් මෑතකදී කරන ලද කැණීම් අනුව සොයාගන්නට ලැබී ඇත. එම බදාමය මත තෙල් සායම් වලින් අදින ලද චිත‍්‍රවල කොටස් ද එහිදී දකින්නට ලැබුණි. එමෙන්ම එම සිතුවම් අවශේෂ අනුව ද පැහැදිළි වන්නේ විශාල ගින්නකට මේ ගොඩනැගිල්ල හසුුවී ඇති ආකාරයයි. සමහරවිට සද්ධාතිස්ස රාජ යුගයේදී ගින්නට හසුවීම හෝ ඊට පසුව චෝල ආක‍්‍රමණ නිසා සිදුවූ ගින්නක් හෝ ඊට පෙර අභයගිරි හා මහාවිහාරය අතර පැවැති වාතාවරණය අනුව සිදුවූ ගින්නක් විය හැකිය.

http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=17813%3A2010-06-14-06-35-43&catid=80%3Arelegion&Itemid=155&lang=si

No comments:

Post a Comment