Sunday, March 22, 2015

කුට්ටම් පොකුණ

එක ලග පිහිටි පොකුණු දෙකක් නිසා මෙයට කූට්ටම් පොකුණ වශයෙන් භාවිතයට ගැනේ. පොකුණු දෙක අවස්ථා දෙකකදී නිර්මාණය කරන්නට ඇති බව පනේ. එක් පොකුණක් මදක් විශාල වන අතර අනෙක මදක් කුඩාය.
එක් පොකුණක, පොකුණට බැසීම සදහා පියගැට 20 ක් ඇත. අනෙකේ ඇත්තේ පියගැට 18 කී. දිග අඩි 91 සහ පලල අඩි 14 කී එක් පොකුණක්. අනෙක දිග අඩි 132යි පලල අඩි 17 කී. අභ්‍යයන්තර බට පද්ධතියක් මාර්ගයෙන් පොකුණු දෙක සම්බන්ධ කර තිබේ.නාන පොකුණු සඳහා පුරාණ ශ්‍රී ලංකාවේ පෙන්විය හැකි එක් උදාහරණයක් නම් කුට්ටම් පොකුණයි. මෙය අනුරාධපුර යුගයේ පුරාණ සිංහලයින් විසින් කරන ලද්දකි. මෙය ඔවුන්ගේ වාරි ඉංජිනේරු ශිල්පයේ ද, වාස්තු විද්‍යාත්මක ක්‍රමවල ද සුවිශේෂී අග්‍ර ඵලයක් ලෙස සළකනු ලැබේපොකුණ පිහිටි උද්‍යානය සැළසුම් කර තිබෙන්නේ අඩි 18½ ක් පමණ දිග බිම් තීරුවකිනි. විශාලතම පොකුණ දිග අඩි 132 ක් සහ පළල 51 කි. කුඩා පොකුණ අඩි 91 ක් සහ පළල 51 කි. ගැඹුර ලොකු සහ කුඩා දෙක්හි පිළිවෙලින් අඩි 18 ක් සහ 14 කි..කුට්ටම් පොකුණුවල මතු පිට යටට, සහ පැතිවලට යොදා ඇත්තේ කැපූ ගල් පුවරුය. පොකුණු දෙකේම දෙපැත්තේ පියගැට පෙළවල් දකින්නට ඇත. ඒවා සමෘද්ධිය විදහා දක්වන පුන්කළස්වලින් සහ ලියවැල්වලින් අලංකෘතය. ඉවුරු සකස්කර තිබුනේ භික්ෂූන් වහන්සේලාට ඒවායේ හිඳගෙන කුමක් හෝ භාජනයක් ගෙන දිය නෑමට හැකි වනු පිණිසයි. පෙකුණට ජලය පැමිණියේ ද පිට වූයේ ද භූගත නල මාර්ගයක් මගිනි. පොකුණට ජලය ඇතුළු වන විට එය පෙරීමට උපක්‍රම යොදා තිබුණි. ආචාර්ය සෙනරත් පරණවිතානයන් මෙම පොකුණු යුගල සංරක්ෂණයට මහත් සේ වෙහෙස මහන්සි විය. මෙහිදී පොකුණ පතුලේ තිබී කුඩා මත්ස්‍යයින්, හක් ගෙඩියක්, කකුළුවෙක් සහ නාට්‍යාංගනාවකගේද පිළි රූ සොයා ගනු ලැබිණි.

මිරිසවැටිය

ක්‍රිස්තු පූර්ව 161 - 137 කාලය තුළ ලංකාවේ රජ කළ දුටුගැමුණු මහ රජතුමා ඉදි කළ ප්‍රථම චෛත්‍යය ලෙස මිරිසවැටිය චෛත්‍යය හැඳින් වේ. සර්වඥ ධාතු සහිත රජතුමාගේ කොන්තය (රජුගේ රාජ්‍ය බලය සංකේතවත් කරන ආයුධය) නිධානයක් වශයෙන් පූජා කොට දහනව කෝටියක් ධනය ද වැය කර ඉදි කර ඇති මෙම චෛත්‍යය ආරම්භයේදී උසින් අඩි හැටක් සහ වට ප්‍රමාණයෙන් අඩි පන්සිය හැටකි. පසු කාලීනව මෙය ලංකාවේ රජ කළ විවිධ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කොට, විශාල කර ඇත. මෙම චෛත්‍යය එකල පැවති අග්‍රගණ්‍ය චෛත්‍යයක් ලෙස ඓතිහාසික පුරාවෘත්තවල සඳහන් වේ.ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර පූජා නගරයට අයත් පෙදෙසේ පිහිටා ඇති මෙම චෛත්‍යය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් අතිපාරිශුද්ධ වූ ස්ථානයක ඉදිකර ඇතැයි සැළකේ. මෙම චෛත්‍යය සාදා නිමවා පූජා කිරීමේදී රහතුන් වහන්සේලා එක්ලක්ෂ අනූදහසක් එම ස්ථානයට වැඩම කර වූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම චෛත්‍යය ඉදි වූ ක්‍රිස්තු පූර්ව 161 - 137 කාලයේදී ලංකාවේ අගනුවර ලෙස පැවතියේද අනුරාධපුරය යි. තමන් අනුභව කරන කවර ආහාරයකින් වුවද මුල් කොටස සංඝයා වහන්සේලාට පූජා කරන සිරිතක් දුටුගැමුණු රජතුමාට තිබූ බවත්, එක් දිනක රජතුමා යම්කිසි ප්‍රමාද දෝෂයකින් සඟුන් නොපුදා මිරිස් මාළුවක් අනුභව කළ බවත්, සිදු වූ එම දෝෂයට වන්දි වශයෙන් මෙම චෛත්‍යය ඉදි කළ බවත් මහාවංශයේ සඳහන් වේ. නමුත් තවත් මතයක සඳහන් වන්නේ දිය කෙළිය සඳහා තිසා වැවට ගිය රජතුමා එක් දිනක එතුමාගේ සර්වඥ ධාතු සහිත ජය කොන්තය මෙම ස්ථානයේ තබා ගිය බවත්, දිය කෙළි නිමවා නැවත පැමිණ එම කොන්තය ගැනීමට උත්සාහ කිරීමේදී එය එතැනින් සෙලවීමටවත් නොහැකිව තිබූ බවත්, පසුව රජතුමා එය වට කොට මෙම චෛත්‍යය ඉදි කරවූ බවත් ය. එහිදී රජතුමා කොන්තයේ වූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් සයවර්ණ බුදුරැස් කොන්තය වටා වැටියක්, වළල්ලක් ලෙස විහිද යනු දුටු නිසා රැස් වළල්ල යන තේරුම ඇති (රැස් යන තේරුම සහිත පාළි සහ සංස්කෘත භාෂාවේ එන "මරිචි" යන්න චරිචි -> මරිස -> මිරිස ලෙසත්, වළල්ල යන තේරුම සහිත සංස්කෘත භාෂාවේ එන "වෘත්ත" යන්න වට්ට -> ඉවට්ටි -> වැටි ලෙසත් බිඳී අවුත්) "මිරිසවැටිය" යන නම එයට යෙදූ බව එම මතයෙන් කියවේ.ඉදි කරන ලද දින සිට මෙරට රජකම් කළ රජුවරුන්ගේ වන්දනා මානවලට පාත්‍ර වූ මිරිසවැටිය චෛත්‍යයට අටවන, නමවන සහ දහවන ශතවර්ෂවල ලංකාවට පැමිණි ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් හානි සිදු විය. මෙම චෛත්‍යය කිහිප වරක්ම කඩා බිඳ දමන ලදි. ක්‍රිස්තු වර්ෂ 114 - 136 අතර කාලයේ රජ කළ පළමුවන ගජබා රජු මෙම ථූපයට ආරක්ෂිත ආවරණයක් ඉදි කර ඇති අතර ක්‍රිස්තු වර්ෂ 209 - 231 කාලයේ රජ කළ වෝහාරිකතිස්ස රජු එහි ඡත්‍රය ප්‍රතිසංස්කරණය කළේ ය. පසුව ක්‍රිස්තු වර්ෂ 914 - 923 අතර කාලයේ රජ කළ පස්වන කාශ්‍යප රජු මෙහි සියළුම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ අතර පොළොන්නරුවේ රජ කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා මෙය අඩි දෙසිය හයක් දක්වා උස් කොට ආරාම විහාර ආදිය ද පූජා කර ඇත. පසුව 1888 වර්ෂයේ දී ගරා වැටී ඇති මෙම චෛත්‍යය වර්තමානයේ දී රජය විසින් ප්‍රතිසංස්කරණය කොට බැතිමතුන්ට වන්දනා මාන කළ හැකි පරිදි සංරක්ෂණය කොට ඇත. මෙම ස්ථානයට අයත් ගොඩනැගිලි අතර දුටුගැමුණු රජතුමා විසින් තනවන ලද උපෝසථාගාරයක් ද, දෙවන කාශ්‍යප රජු (ක්‍රිස්තු වර්ෂ 650 - 659) විසින් තනවන ලද විශාල මන්දිරයක් ද, හතරවන කාශ්‍යප රජු (ක්‍රිස්තු වර්ෂ 898 - 914) විසින් තනවන ලද බුදු රජාණන්වහන්සේගේ කේශ ධාතුව තැන්පත් කිරීම සඳහා වූ  "චන්දන ප්‍රාසාද" නම් වූ ගොඩනැගිල්ලක් ද වේ.

http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA

ලෝවාමහාපාය

ලෝවාමහාපාය යනු ක්‍රි. පූ. 1 වන සියවසේදී මහා විහාරයේ ඉදි කරනු ලැබූ උපෝසථාගාරයකි. මෙය අනුරාධපුරයේ පිහිටා ඇත. එහි වහලය ලෝහ උළු වලින් කල නිසා ලෝහ ප්‍රාසදය යනුවෙන්ද හැඳින්විනි. ගල් කනු 1600ක් මෙම ස්ථානයේ ඇති අතර එහි මහල් නමයක් වූ බව වංශ කථා වල සඳහන් වේ. දැනට මැදින් ඇති කුඩා ගොඩනැගිල්ල නවීන එකක් වන නමුදු මහා විහාරයේ පෝය කර්ම සඳහා තවමත් මෙම ස්ථානය පාවිච්චි කරනු ලබයි.

දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද ලෝවාමහාපාය නවමහල් වූ බැව් මහාවංසයේ සඳහන් වෙයි. මේ යුගයේ සාදන ලද ඉතා විශාල ආගමික ගොඩනැගිල්ල වූ මෙම ලෝවාමහාපායේ (අද අනුරාධපුරයේ) ගල් කණු 1600 ක් ඔබට දැකගත හැකිය. ගල්කණු එක පෙළකට හතළිහ බැගින් ගල්කණු පේළි හතළිහකි. මෙම නටබුන් වූ ලෝවාමහාපාය අවසන් වරට සංරක්ෂණය කරන ලද්දේ පොළොන්නරුවේ රජ වූ ඉතා ප‍්‍රබල රජ කෙනෙකු වූ මහා පරාක‍්‍රමබාහු රජතුමා විසිනි.ලෝවා මහාපාය යන නාමයෙන් මේ විශාල ගොඩනැගිල්ල හැඳින්වූයේ එහි වහළය තඹ ලෝහ උළුවලින් සෙවිළි කර තිබුණු නිසාය. ලෝවාමහාපාය දුටුගැමුණු රජතුමා විසින් එතැන සාදවන්නට පෙර එහි තිබුණේ දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද පොහොය ගෙයකි. එයින් අවුරුදු සියයකට පමණ පසුව ලෝවාමහාපාය දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද ආකාරය ඓතිහාසික වාර්තා වලින් පැහැදිලි වේ. දුටුගැමුණු රාජ යුගය වනවිට අනුරාධපුරයේ භික්ෂු - භික්ෂූණීන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් වාසය කළහ. නවමහල් (තට්ටු නවයක්) මේ ගොඩනැගිල්ල භික්ෂූන් වහන්සේලාගේ පෝය ගෙයක් ලෙසින් ද භාවිතා කර ඇත. එමෙන්ම භාණ්ඩ තැම්පත් කිරීම සඳහා ද එම ගොඩනැගිල්ල භාවිතා කර ඇත. ලෝවාමහාපාය ගැන දීර්ඝ විස්තරයක් මහාවංසයේ සඳහන් කර ඇත.
මේ ගොඩනැගිල්ල දැවයෙන් (ලී වලින්) සාදා තිබුණි. දුටුගැමුණු රජතුමාට පසුව රජවූයේ එතුමාගේ බාල සොහොයුරා වූ තිස්ස කුමාරයාය. බුද්ධාගමට ඉතා ලැදිව රජකම් කළ නිසා සද්ධාතිස්ස යන නාමයෙන් එම රජතුමා ප‍්‍රකට වූයේය. ලෝවාමහාපාය එම රජතුමාගේ කාලය ේදී ගින්නෙන් දැවී විනාශ වූයේය. ඒ නිසා නව මහල් ලෙසින් දුටුගැමුණු රජතුමාගේ අනුග‍්‍රහයෙන් නිර්මාණය කරන ලද ලෝවාමහාපාය සද්ධාතිස්ස රජතුමාගේ අනුග‍්‍රහයෙන් ගොඩනගන ලද්දේ සත්මහල් ආකාරයටය. මේ බව වංශකතා වල සඳහන් වී ඇත. ලෝවාමහාපාය නැවත ප‍්‍රතිසංස්කරණය කරන ලද්දේ ඊට අවුරුදු සියයකට පසුවය. කි‍්‍රස්තු පූර්ව 22 දී රජවූ භානිකාභය රජතුමාගේ අනුග‍්‍රහයෙන් එම ප‍්‍රතිසංස්කරණය සිදුකර ඇත. ආමණ්ඩගාමිණී රජතුමා (කි‍්‍ර.ව. 19 – 29) ගේ රාජ්‍ය කාලයේදී ඒ රජුගේ අනුග‍්‍රහයෙන් ලොවාමහාපායට මැණික් ඔබ්බවා අලංකාර වූ මණ්ඩපයක් ද කරවූ බැව් වංසකතාවල සඳහන් වේ.කලින් කල මෙසේ ලෝවාමහාපාය විවිධ රජවරුන් විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලදී. දෙවැනි සිරිනාග රජතුමා (කි‍්‍ර.ව. 240 – 242) විසින් ලෝවාමහාපාය පස් මහල් ලෙසින් යළි සෑදූ බැව් ද වංසකතාවල සඳහන් වී ඇත. පළමුවන ජෙට්ඨ තිස්ස රජතුමා විසින් නැවතත් මේ ලොවාමහාපාය නවමහල් ලෙසින් ගොඩ නංවන ලදී. මෙසේ විවිධ කාලවලදී අපගේ සිංහල නරපතියන් ලෝවා මහාපාය මෙසේ ප‍්‍රතිසංස්කරණය කිරීමට හේතුව එය ඉතා අවශ්‍ය වූ ආගමික ගොඩනැගිල්ලක් ලෙසින් පැවතුණු නිසාය. ලෝවාමහාපාය ගොඩනැංවීමේදී කිතුල් හෝ තල් දැව (ලී) භාවිතා කරන්නට ඇත. එම තල් සහ කිතුල් ලීමත බදාම ගා මේ ලොවාමහාපාය කරවන ලද බැව් මෑතකදී කරන ලද කැණීම් අනුව සොයාගන්නට ලැබී ඇත. එම බදාමය මත තෙල් සායම් වලින් අදින ලද චිත‍්‍රවල කොටස් ද එහිදී දකින්නට ලැබුණි. එමෙන්ම එම සිතුවම් අවශේෂ අනුව ද පැහැදිළි වන්නේ විශාල ගින්නකට මේ ගොඩනැගිල්ල හසුුවී ඇති ආකාරයයි. සමහරවිට සද්ධාතිස්ස රාජ යුගයේදී ගින්නට හසුවීම හෝ ඊට පසුව චෝල ආක‍්‍රමණ නිසා සිදුවූ ගින්නක් හෝ ඊට පෙර අභයගිරි හා මහාවිහාරය අතර පැවැති වාතාවරණය අනුව සිදුවූ ගින්නක් විය හැකිය.

http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=17813%3A2010-06-14-06-35-43&catid=80%3Arelegion&Itemid=155&lang=si

Saturday, March 21, 2015

ථූපාරාමය

මහින්ද ස්ථවිරයන් වහන්සේ බුදුන් වැඳීම සඳහා සර්වඥ ධාතුන් නිධන් කළ චෛත්‍යයක අවශ්‍යතාව දේවානම් පියතිස්ස රජුට පෙන්වා දුන්හ. ඒ අනුව රජුගේ ඉල්ලීම පරිදි ඉන්දියාවට වැඩම කළ සුමන සාමණේරයෝ අශෝක අධිරජයා හමුව බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව ද තවත් ධාතුන් වහන්සේලා ද ලබා ගෙන ලක්දිවට සැපත් වූහ. රජතුමා අකු ධාතුන් වහන්සේ මංගල හස්තියා පිට මහ පෙරහරින් වැඩමවාගෙන යද්දී හස්තියා එක තැනක නතර වී නොසෙල් වී සිටියේය. මහින්ද ස්ථවිරයන් වහන්සේගේ උපදෙස් මත අභය වැවෙන් පස් ගෙන්වා එතැන ඇතාගේ උසට සෑයක් බැඳි රජතෙමේ ඇතු පිටින් ධාතුන් වහන්සේ වැඩමවා එහි නිධන් කොට ලක්දිව ප්‍රථම ස්තූපය සෑදවීය. වර්තමාන ථූපාරාමය එයයි. ස්ථූප හා ආරාම සංකීර්ණය එක්ව පිහිටා තිබීම නිසා ථූපාරාම නාමය ව්‍යාවහාර වූ බවට ද මතයකි. දැනුදු නටබුන් සහිතව අක්කර 3 ½ ක පමණ ප්‍රදේශයක් වසා පැතිර ඇති ථූපාරාම භූමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ ස්ථානයකි. බුදු දහම ලක්දිවට හඳුන්වා දීමෙන් පසු ඉදි වූ ප්‍රථම ථූපය ථූපාරාමය වීම එහි ඇති විශේෂත්වයයි. ලජ්ජිතිස්ස රජු (ක්‍රි. පූ. 119-109) ස්ථූපයට ශෛලමය කඤ්චුකයක් පුද කළ අතර වසභ රජු (ක්‍රි. ව. 66-110) වටදාගෙය සාදා දුන්නේය. ධාතුසේන රජු මෙන්ම දෙවන අග්‍රබෝධි රජු ද ථූපයෙහි අලුත්වැඩියා කටයුතු සඳහා උර දී කටයුතු කළ රජවරුන් දෙදෙනෙකි. පළමුවන දාඨෝපතිස්ස රජු හේවායින්ට මුදල් ගෙවීමට නොහැකිව සිටියේය. ඔහු ඒ සඳහා කළේ ථූපාරාමයෙහි ධාතු ගර්භය බිඳීමය. එසේ වුව (ක්‍රි. ව. 650-659) අතර රජ කළ දෙවන කාශ්‍යප රජු ස්ථූපය නැවත ප්‍රකෘතිමත් කළේය. මේ අයුරින් මානවම්ම, දෙවන මිහිඳු, දෙවන දප්පුල, දෙවන සේන, දෙවන උදය, සිව්වන මහින්ද ආදී රජවරුන් ද ථූපය පිළිසකර කරමින් ද, අලුත් අංග එක් කරමින් ද මහත් සේවාවන් කළ බව අමතක නොකළ යුතුය. දෙවන දප්පුල රජුගේ කාලයේ දී මෙහි පැමිණි පාණ්ඩ්‍යයන් විසින් ථූපාරාමය මංකොල්ල කන ලද අතර දහවන සියවස අවසානයේ දී මෙහි ආ සොළීහු සමස්ථ විහාරයම කොල්ල කෑහ. එසේ වුවද භාග්‍යයකට මෙන් දොලොස්වන සියවසේ රජකම් කළ මහා පරාක්‍රමබාහු නරපතියා එය නැවතත් යථා තත්වයට ගෙන ආවේය. මෙම දා‍ගැබේ මුල් ස්වරූපය ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වූ අතර ඉන් පසුව කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් එය ඝණ්ටාර හැඩයට වෙනස් වූ බව සඳහන්ය. දැනට මෙහි උස අඩි 60කි. විශ්කම්භය අඩි 59 කි. ථූපාරාමය අවට ඇති පෞරාණික වටිනාකමින් යුත් ස්ථාන කිහිපයක් ඇත.

 http://www.paramparikadenuma.lk/index.php?option=com_content&view=article&id=98&Itemid=70&lang=si

ජේතවනාරාමය

ජේතවනාරාමයේ දාගැබකි. අඩි 400 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වේ. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මහායාන බෞද්ධ මහසෙන් (273 - 301) රජුයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් වේ.
පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුළුවීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වූයේය. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.ක්‍රි.ව. 276-303 රජකළ මහසෙන් රජතුමා විසින් කරවන ලද්දකි. බුදුරඡාණන් වහන්සේගේ ඉණ බැඳි පටියෙහි කොටසක් ජේතවනාරාමයේ තැන්පත් කර ඇති බව විශ්වාසයක් ඇත. ලොව උසම හා විශාල තම චෛත්‍යය ද වේ.


 https://www.google.lk/?gws_rd=cr,ssl&ei=2TMNVZrcKJbnuQS6joDoCA#q=%E0%B6%A2%E0%B7%9A%E0%B6%AD%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA

Sunday, March 15, 2015

රුවන්වැලිසෑය

    
රුවන්වැලිසෑය හෙවත් රුවන්වැලි දාගැබ ශ්‍රී ලංකාවේ පිහිටා අති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. මෙම ස්ථූපය සොළොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.

සුවිශේෂීත්වය

දළදා වහන්සේ ලක්දිවට වැඩමකරවීම තෙක් රුවන්වැලිසෑය ලක්දිව වඩාත්ම පූජනීය ශාරීරික චෛත්‍යය විය. පසුව එම ස්ථානය දළදා වහන්සේට සහදළදා මාලිගා වලට හිමිවිය. දැනුදු මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම පූජනීය දාගැබ වේ.

භෞතික ලක්‍ෂණ

උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ. වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි.

අන්වර්ථ නාම

  • රත්නමාලි සෑය
  • මහා සෑය

ශාරීරික ධාතු

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ අධුනික රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.
"ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි" අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.

උපුටා ගන්නා ලද්දකි.  http://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%91%E0%B6%BA